Question Received: ඔබ සිංහල අවුරුදු නැකත් අනුගමනය කරනවද?

ලංකාවට බුදු දහම පැමිනීමට පෙර සිංහලයින් ගස් ගල් වන්දනා කල පිරිසක් ලෙස තමයි අපිට බොහෝ විට අහන්න ලැබෙන්නේ. නමුත් එමගින් අදහස් වනවාද සිංහලයින් සියලුදෙනාම පුරාණ පේගන් ආගමිකයින් ව සිටි පිරිසක් බව.. ඒ කාලයේදී ගස් ගල් අදහන ගෝත්‍රික/පේගන් පුරාණාගමිකයින් මෙන්ම හින්දු, ජෛන ආදී උතුරු ඉන්දියානු ආගම් සහ ශෛව වැනි දකුණු ඉන්දියානු ආගම් ද ලංකාවේ තිබුන බවට සාක්ශි තිබෙනවා.

ලෝකයේ ආගම් බිහි වුනේ එක් එක් යුග වල ඒ කාල වල මනුශ්‍යයාට තිබුන අවශ්‍යතා අනුව. ගල් යුගය සහ ලෝකඩ යුගය මේවායෙන් මුල් යුගයයි. ඒ කාලයේ මිනිසුන් පර්වත, ගස් ආදී සොබා දහමේ මූලික බලවේග දේවත්වයෙන් සැලකුවා. ඊලඟට එඬේර සහ මුල් ගොවි යුගයේ මිනිසාට ඊට වඩා සංකීර්ණ අවශ්යතා ඇති වීමත් සමඟ, ගොවිතැනට බලපාන සෘතු වෙනස් වීම සතුන්ගේ සහ තම වර්ගයාගේ සරු බව සහ භෝග සම්පත්තිය උදෙසා දේවත්වයන් වන්දනා කලා.

වර්තමාන යුගයේ අපට සෘතු වෙනස් විම එතරම් වැදගත් දෙයක් ලෙස සලකන අවශ්‍ය නොවන්නේ සුපිරි වෙලඳසැලෙන් භාන්ඩ මිලදී ගෙන වායුසමීකරනය කරගත් ගොඩනැගිලි වල ජීවත් වන නිසා විය හැකි, නමුත් මනුශ්‍යයන් වශයෙන් අප සැම දෙනා වගා කරන ලද ආහාර මත යැපෙන හෙයින් සෘතු වෙනස් වීමට යටත් වන ජීවීන් පිරිසක්.

සිංහල අලුත් අවුරුද්ද මෙන්ම අළුත් සහල් මංගල්‍යයත් සොබා දහමේ සෘතු වෙනස් වීම සැමරීමේ අවස්ථාවන්. අපගේ ජීවිතයට ඉතා වැදගත් වන, ලෝකයේ සියලු ජීවයට ශක්තිය සපයන, අපට දිවා කල ආලෝකය ලබා දෙන සූර්යයාට ස්තූතිවන්ත වීම තමයි මේ සූර්‍ය සංවත්සර වල අරමුණ විය යුත්තේ.

අළුත් සහල් මංගල්‍යය සහ අළුත් අවුරුද්ද මෙන්ම තවත් සූර්‍ය සංවත්සර හයක් (සම්පූර්ණ වශයෙන් අටක්) තිබෙනවා සූර්‍යයා වටා පෘථිවිය ගමන් කිරීම නිසා ලෝකයේ ඇති වන සෘතු වෙනස් වීම් සැමරීමට. මේවා සියල්ල හෝ බොහෝමයක් තවමත් උත්සවාකාරයෙන් සමරන බොහෝ ජන කොටස් ලෝකය පුරා සිටිනවා, චීනය ජපානය වැනි පෙරදිග රටවල් වල මෙන්ම එංගලන්තය ස්කොට්ලන්තය වැනි බටහිර රටවල පවා. ඒවායේ අර්ථය වන්නේ සෘතු වෙනස් වීමත් සමඟ මිනිසා ඊට හැඩගැසිය යුතු ආකාරය මතක් කර දීමටත් සොබා දහමෙන් මිනිසා ලද ජීවයට ස්තූති-උපහාර කිරීමටත්. මීට සාපේක්‍ශව ගල් යුගය සහ ලෝකඩ යුගයේ සොබාදහම ඇදහීම් වල දකින්න ලැබෙන ලක්ශණයක් තමයි වසන්තය ආරම්භය සහ ශීත කාලය ආරම්භය සැමරීම.

සිංහල සහ හින්දූන් පමනක් නොව, ක්‍රිස්තියානි සහ කතෝලිකයින් සමරන පාස්කුවේ (Ēostre) පුරාණ අර්ථය වන්නේත් වසන්ත කාලය ආරම්භ වීමයි.

තුන් වන යුගයේ ආගම් පැතිරුනේ මිනිසුන් නාගරීකරණය විමත් සමඟයි. බූදු දහම තවමත් උදා නොවුන පස් වන යුගයට වඩාත් ගැලපෙන දහමක් වුවත් එයද ලංකාවට ප්‍රචාරය වූ යුගය ලෝකයේ අනෙක් තුන් වන යුගයේ ආගම් බිහි වූ මුල් යුගයයි. එම නිසා ධර්මය ප්‍රචාරය වීම සහ ජනතාව අතරට එකතු වීම අතින් සමාන්තර ලක්ශන දකින්න පුලුවන්. දෙවන යුගයේ පැවතුන ආගමික චාරිත්‍ර සමඟ මිශ්‍ර වීම නිසා තමයි අපට අපේ සංස්කෘතිය තුල අළුත් සහල් මංගල්‍යය වැනි බුදු දහම සමඟ බැඳුන පුරාණාගමික චාරිත්‍ර, බුදු දහම සහ බැඳුන දහඅටසන්නිය වැනි පුරාණාගමික අභිචාර විධි දකින්න ලැබෙන්නේ, එමෙන්ම පාස්කුව වැනි පේගන් මූලයක් ඇති ක්‍රිස්තියානි උත්සව ඇති වුනේත් එකම යාන්ත්‍රනයක් හරහායි.

Question received: හින්දු ආගමේ දෙවියන් ගේ ආරම්භය කෙසේ වෙන්න ඇත්ද?

හින්දු ආගමේ දෙවියන් කොහොම ඇති වුනාද කියන ප්‍රශ්නයට පිලිතුරු සොයන්න පෙර අපිට එකඟ වෙන්න සිද්ධ වෙනවා හින්දු ආගමේ දෙවියන් පැවැත්ම ගැන. එසේනම් හින්දු ආගමේ දෙවියන් ඇති වූ ආකාරය හින්දු ආගමේම විස්තර කර ඇති ආකාරයට තමයි පිලිගන්න සිද්ධ වෙන්නේ. දෙවියන්ගේ සහ ලෝකයේ ආරම්භය ගැන හින්දු පමනක් නොව සියලුම පලමු යුගයේ ආගම් වල ඉඟැන්වීම් බොහෝ දුරට සමාන්තරයි. එනම් ග්‍රීක, රෝම, නෝවීජියානු මෙන්ම පූර්ව සෙමටික ආගම් වල දෙවියන්ගේ, ලෝකයේ සහ මිනිසුන්ගේ ආරම්හය ගැන කියන්නේ බොහෝ දුරට එකම වගේ කතාවක්. මහා පිපිරුම, පරිණාමය වගේ කෙතරම් නවීන විද්‍යාත්මක හෙලිදරවුවීම් සිදු වුනත් මේ ආගමික පුරාවෘත්ත ද ඒවා සමඟ ගලපාගැනීම් දැකිය හැකියි.

ග්‍රීක සහ නෝවීජියානු පුරාණ ආගම් වල කියැවෙන ආකාරයට සතර මහා භූතයින් සහ විශ්වයේ අහඹු/ගුප්ත ස්වාභාවය එනම් Kaos (කෙඔස්) තුලින් තමයි මුල් ම දිව්‍යමය ස්වාභාවය හට ගන්නේ. එතුලින් තමයි ප්‍රධාන දෙවියන් ලෝකයට පහල වන්නේ. එම ප්‍රධාන දෙවියන් සහ අර කලින් කී මූල්ම දිව්‍යමය ස්වාභාවය අතර ලිංගික එක් වීමකින් පළමු පරම්පරාවේ දෙවියන් පිරිස බිහි වෙනවා. එම පළමු පරපුරේ දෙවියන් අතර ලිංගික එක් වීම් තුලින් දෙවන පෙල දෙවියන් බිහි වෙනවා. මේ දෙවියන් බිහි වීමට සමාන්තරව ස්වාභාවිකව පෘථිවිය පරිණාමය වෙනවා. හින්දු දේව පුරාණයට අනුව මේ ප්‍රධාන දෙවියන් තමයි බ්‍රහ්මන්.

මේ පුරාණ ආගම් බිහි කල ශාස්තෲ වරුන් ඇත්ත වශයෙන් ම යම් කිසි ආධ්‍යාත්මික සහ මානසික දියුනුවක් ඔස්සේ මනස මෙහෙයවා ලබා ගත් අවබෝධයකින් තමයි මේ දේවල් සොයාගෙන තිබෙන්නේ. ඉතා ඈත කාලයක ලෝකයේ වෙන් වෙන් ප්‍රදේශ වලින් මිනිසුන් හෝ තොරතුරු සංක්‍රමනය වීමකින් තොරව, ස්වාධීනව ඝි වූ මේ පළමු යුගයේ ආගම් සියල්ලේම සමාන්තර තොරතුරු අඩංගු වන්නේ කෙසේද? විද්යාත්මකව මේ සඳහා දී ඇති පිලිතුර වන මිනිසුන් හෝ දැනුම සංක්‍රමණය වීම කියන ඇඟ බේරාගැනීමේ උත්තරය බොරු බව ලෝක ආග්මික ඉතිහාසය හදාරන කෙනෙකුට සක් සුදක් සේ පැහැදිලි වෙන දෙයක්.