චිත්ත බලය 2.5 - භාවනාවේ ගැටලු සහ පිළිතුරු

විවිධ ආලෝක/මන්ඩලා පෙනීම

අපි ඇස් වසාගෙන සිටින විට ඇසේ සංවේදීතාවය වැඩි වෙනවා. එවිට ඉතා සුළු විකිරණ, ආලෝක කිරණ හෝ අපගේ ශරීරයේම විද්යුත්-රසායනික ප්‍රතික්‍රියා සහ රුධිර සංසරණය පවා ඇසට සංවේදනය වෙනවා. මේවා ආලෝක මන්ඩලා විදියට සංජානනය වෙන්න පුළුවන්. මේවා ගැන ඕනෑවට වඩා හිතන්න එපා. ඒ සංවේදනය හඹායන්නත් එපා. ඒක සාමාන්‍ය දෙයක් කරගන්න.

නළල මැද (හෝ ශරීරයේ යම් තැනක) වෙදනාවක්, තෙරපීමක් දැනීම

සිත ඒකාග්‍ර කිරීමට වෙහෙස දැරීමෙන් හෝ ඇස් වසාගෙන නාභිගත කිරීමට නොදැනුවත්වම උත්සාහ කිරීමෙන් මෙසේ විය හැකියි. අපේ දෙනෙත් ස්වභාවිකවම එක් වස්තුවක් මත නාභිගත වීමට උත්සාහ කරනවා. ඒත් ඇස් වසාගත් විට ඇස් දෙකට හසුවන දේ තනි වස්තුවක් විදියට සංජානනය කරගන්න බෑ.

මුලින් ඇස් අඩවන් ව විවෘත කර බලන්න. වේදනාව පහව යයි නම් ඇස් ඉහිල් කරන්න - ඉන් පසු අවශ්‍යනම් ඇස් වසාගත හැකියි.

ශරීරයේ යම් තැනක හෝ නැවත වේදනාවක්, තෙරපීමක් දැනේ නම් එම සංවේදනය ගැන සිහිය යොමු කරන්න. ඉන්පසු එම ස්ථානය අරමුණු කර - නහයෙන් ගැඹුරු හුස්මක් (බඩ පිම්බෙන ලෙස) ගන්න. මද වෙලාවක් හුස්ම රඳවාගෙන සිට - කටෙන් හුස්ම සෙමෙන් පිට කරන්න. මෙසේ තුන් වතාවක් පමණ කරන්න.

භාවනාව ආරම්භ කිරීමේදී නළල මැද සුළු තෙරපීමක් දැනී ටික වෙලාවකින් එය මගහැරී යාම සාමාන්‍යයි.

කකුල් හිරිවැටීම

පහසු සහ සෘජු ඉරියව්වකින් සිටින්න. රුධිර සංසරණය අඩාල වූ විට හිරිවැටෙන්න පුළුවන්. ඉඳගෙන සිටින ඉරියව්වෙන් නම් - පසුපසට කොට්ටයක් තබා වාඩි වෙන්න. බංකුවක් හෝ පුටුවක් වුවත් කමක් නෑ. ශාරීරික වේදනාවන් භාවනාවට බාදාවක් විය යුතු නෑ. ශරීරයට පීඩා ගෙනදීමෙන් පමණක් කිසිම විමුක්තියක් ලැබෙන්නේ නෑ. හීම් යකඩ සහ විටමින් B (Neuro B Complex - B1, B6, and B12) ආහාරයට එක් කරගන්න.

කකුල් වල කූඹි හෝ ඉඳිකටු අනිනවා මෙන් දැනීම

මෙය හිරිවැටීමට වඩා වෙනස් සංවේදනයක්. ඒ ගැන අවධානය යොමු කරන විට එම සංවේදනය එක් එක් තැනක සිට පිටතට විහිදී යන බවක් දැනේ. ඉන් පසු එය අඩු වී නැති වී යයි. මේ ගැන කලබල විය යුතු නෑ. ව්‍යායාම කිරීමෙන් පසු ශරීරයට විවේකයක් ලැබෙන විට මෙය සිදු විය හැක. යෝගා සහ දිගැදුම් (stretching) කරන්න. ප්‍රෝටීන්, යකඩ සහ විටමින් B අඩංගු ආහාර ගන්න. හොඳින් ජලය පානය කරන්න - අවශ්‍ය ලෙස electrolytes මිශ්‍ර ජලය.

Disclaimer

ශාරීරික සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් වලට ප්‍රමුඛතාවය දෙන්න. විශේෂයෙන්ම භාවනාවෙන් පරිභාහිරවද ඇති වන සංකූලතා වලට වෛද්‍ය සහය පතන්න.

No comments: