Showing posts with label භාවනා. Show all posts
Showing posts with label භාවනා. Show all posts

මනස පාලනය 2 චිත්ත ඒකාග්‍රතාවය (Concentration)

අධිමානසික-අභ්‍යාස වල දෙවන-පියවර ලෙස අප සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ සිත එක-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමයි. සිත එක්-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමෙන් (එදිනෙදා ජීවිතයේදී) අවබෝධ කරගැනීමේ හැකියාව සහ සිතුවිලි ගොඩනැඟීමේ හැකියාව වර්ධනයවේ. අධිමානසික-ක්‍රියාකාරකම් වලදීද මෙය ඉතාමත් ප්‍රයෝජනවත්වන මූලිකම දෙයකි.

තෙවන-ප්‍රවර්ගයේ ලිපිපෙල වන "Magick සහ චිත්ත-බලය (Psychic-powers)" අප වෙන්කරන්නේ අනුපිලිවෙලට සැකසූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහාය. මේවා අනුපිලිවෙලට පෙලගස්වා ඇත්තේ ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා ඊට පහල මට්ටමේ ක්‍රියාකාරකම් වල නිපුණතාවය අත්‍යාවශ්‍ය වන නිසාය. ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් කිරීමට අපහසුනම් නැවත මූලික ක්‍රියාකාරකම් වලට පැමිණ ඒවායේ නිපුණතාවය ලැබියයුතු වේ. කෙසේවුවද ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් ඉඟෙනීමේදීද නිරන්තරයෙන් මූලික අභ්‍යාස වල නිරත වී හැකියාව "පවත්වාගත යුතු" වේ.

Magick සහ අධිමානසික ක්‍රියාකාරකම් සඳහා ඉතාමත් වැදගත් වන්නේ චිත්ත රූප (Visualization) පවත්වා ගැනීම සහ ශක්තිය පාලනය (Energy manipulation) කිරීමයි. ශක්තිය පාලනය කිරීමටද චිත්ත රූප මහෝපකාරී වේ. චිත්ත රූප සඳහා මානසික ඒකාග්‍රතාවය උපරිම අන්දමින් අවශ්‍ය වේ. ඒකාග්‍රතාවය සඳහා මනස ඉහිල් කිරීම උදවු වේ.

මනස ඉහිල් කිරීම
(Relaxation)
->චිත්ත ඒකාග්‍රතාවය
(Concentration)
->චිත්ත රූප
(Visualization)
->ශක්තිය පාලනය
(Energy manipulation)

High Magick, Ceremonial, Ritual Magick, Elemental Magick, Chaos, Sigilization වැනි ඕනෑම ගුප්ත ශාස්ත්‍ර විශය ක්ෂේත්‍රයකට හෝ අවතීර්ණ වීමට මෙම දැනුම හා කුසලතා මූලික වේ.

චිත්ත ඒකාග්‍රතාවය සඳහා අප තෝරාගන්නේ අර්ථයක් රහිත, සරල සහ නිශ්ක්‍රීය අරමුණකි. පසුව චිත්ත රූප පිලිබඳ අභ්‍යාස වලදී මේ වෙනුවට (සංකීර්ණ) චිත්ත රූපයක් ආදේශ කල හැක.

මේ සඳහා මුලින්ම ඉහිල් කිරීමේ (Relaxation) අභ්‍යාස පුහුණු කර තිබිය යුතුය. ශරීරය සහ මනස හැකිතරම් ඉහිල් කිරීමෙන් පසුව මෙය ආරම්භ කල හැක. නමුත් සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීමට උත්සාහ ගැනීම අවශ්‍ය නොවේ. මුලින්ම භාවනා කිරීම සඳහා අරමුණක් (Object of concentration) තෝරා ගත යුතුය. මේ සඳහා ඉටිපන්දම් දැල්ලක්, බිත්තියක ඇඳි තිතක්, ජල බිඳුවක්, වර්ණ කඩදාසි වෘත්තයක් හෝ හුදෙක් සිතුවිල්ලක් හෝ ශබ්දයක් වුවද තෝරාගත හැක. වඩාත්ම වැදගත් වන්නේ ඔබ තෝරාගන්නා අරමුණ සමඟ ඔබට එක අරමුණක සිටීමට පහසු වීමයි.

බිත්තියක ඇඳි තිතක් අරමුණ ලෙස ගන්නේනම් තනි, ලා පැහැයක් ඇති පිරිසිදු සහ නිදහස් බිත්තියක (බොහෝ පින්තූර හෝ සැරසිලි එල්ලා නැති) ස්ථානයක් තෝරා ගන්න ඔබට පහසු ඉරියව්වක පුටුවක හෝ බිම ඉඳගත් විට ඇස් මට්ටමෙන් බිත්තියේ ගම්මිරිස් ඇටයක තරම් කලු තිතක් ඇඳගන්න. ඉන් පසු අතේ දුර මෙන් එකහමාරක් පමණ ඈතින් සිට, (මුලින් මනස ඉහිල් කර) ඒ දෙස හැකි පමණ වෙලා බලා සිටින්න. විනාඩි දහයකට පමණ වරක් ඇස් වලට විවේකයක් දීමටද අමතක නොකරන්න. තිත සෑම විටම දෘශ්ටි පථයේ මැද එකම ලක්ශ්‍යයක තබා ගැනීමට උත්සාහ ගන්න.

මද වේලාවකට පසු ඇස, දැකීමට වෙනත් අරමුණක් සොයනු අත් දැකිය හැකි වනු ඇත, තිත ඇසේ නාභියෙන් ඉවත් වීම හෝ සෙලවීම මෙහි ලක්ශණයකි. එය අවබෝධ වන්නේ තිත ඇසේ නාභියෙන් ඉවත් වී නැවත තිත වෙත නාභිගත වන විටය, නමුත් තිත ඇසේ නාභියෙන් ඉවත් වීමට උත්සාහ ගන්නා අවස්ථාවේදීම ඊට ප්‍රතිරෝධය දැක්විය යුතුය. ඇස ඉන් ඉවත් වී වෙනත් දෙයක් කෙරෙහි ඇලීමට ගැටිමට දක්වන සෑම උත්සාහයකටම ප්‍රතිරෝධය දක්වන්න.

මද වේලාවකට පසුව එක්වරම තිත අතුරුදහන් වී යාහැක, ඒ ගැන කලබල නොවන්න, මද විවේකයක් ගන්න. තිත ඉතා කුඩා වූවිට හෝ ඉන් බොහෝ ඈත් වී සිටි විට හෝ ආලෝකය ප්‍රමාණවත් නොවූ විටද මෙසේ තිත අතුරුදහන් වී යාම අත් දැකිය හැක. තිත අතුරුදහන් වන්නේ බොහෝ වේලාවක් තිත දෙසම පමණක් ඇස නාභිගත කරගෙන සිටීමට ඔබට හැකි වූ විටය.

ඉටිපන්දම් දැල්ලක්ද භාවනාව සඳහා අරමුණු කර ගත හැක. අඳුරු පරිසරයක තනි ඉටිපන්දමක් පමණක් දල්වාගෙන මෙය කිරීමෙන් ඇසට විඩාවක් ඇති විය හැකි නිසා ඉටිපන්දම් කිහිපයක් දල්වාගෙන එක් ඉටිපන්දමක දැල්ල දෙස බල සිටින්න. (නැතිනම් මද ආලෝකය ඇති විදුලි ආලෝකයක්ද යොදාගත හැක) ඉටිපන්දම් දැල්ලද ඇස් මට්ටමින් සහ අතේ දුරින් තබාගන්න. ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටීමේදී ඒ සමඟ ඒකාත්මික වීමට උත්සාහ ගන්න. එහි ඇති ආලෝකය සහ තාපය තුල සිත රඳවන්න. ඉටි පන්දමේ ඝන අවස්ථාවේ ඇති ඉටි ද්‍රව අවස්ථාවට පත් වී තිරය දිගේ ඉහලට පැමිණ වාතය සමඟ එකතු වී ගින්දර ඇති වේ, එවිට ආලෝකය සහ තාපය පිටවේ. අවසන් ප්‍රතිඵලය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාශ්පද පිට වේ. ඔබට මෙම ක්‍රියාවලිය තුලද සිත පිහිටුවිය හැක.

ඉටිපන්දම් දැල්ල වරින් වර සෙලවෙන නිසා ඇසට වෙනස් වන අරමුණක් ලැබේ. මෙය එක් අරමුණක සිටීම පහසු කරයි, නමුත් ඇසේ නාභිය පවත්වා ගැනීම මදක් අපහසු වේ. ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටින විට අවට ඇති වෙනත් දෑ ටිකින් ටික අඳුරු වී යන ලෙස දැනිය හැක. මෙය සාමාන්‍ය දෙයකි.

සිත එක් අරමුණක තැබීමෙන් එදිනෙදා ජීවිතයේ බොහෝ අරමුණු වලට හසුවී තිබෙන සිතට විශාල සැනසීමක් දැනේ. මේ ක්‍රියාකාරකම දිගටම කිරීමෙන් තමා තුල සාමකාමී වාතාවරනයක් ගොඩනැඟේ.

මනස පාලනය (Mind Control)

අපගේ සිතේ ඇති සම්පූර්ණ ශක්තියම අවදි කිරීමට එය ක්‍රමවත්ව පුහුණු කල යුතුයි. එහි පලමු පියවර ලෙස ඉහිල් කිරීම (Relaxation) පිලිබඳව මෙහිදී ලිවීමට අදහස් කරමි. මාංශ පේශියක ශක්තිය වැඩි කිරීමට දිගැදුම් අභ්‍යාස (Streaching) උදව් වන්නා සේම මේ අභ්‍යාස ඔබේ මනසේ ශක්තිය වැඩි කිරීමට හේතු වේ.

අපගේ සිත නිරතුරුවම පංචේන්ද්‍රයන් ගෙන් ලැබෙන සංවේදන බලාපොරොත්තුවෙන් සිටී මේ සංවේදන තුල ඇති තොරතුරු සකස් කිරීමට සහ අවබෝධ කරගැනීමට මනසේ ශක්තිය වැඩි වශයෙන්ම වැය වේ. මේ ශක්තිය ඉතිරි කර ගැනීමට නම් අපගේ සිත වහා හිස් කර ඉඩ ගැනීමට පුරුදු විය යුතුය. පැහැදිලිව සහ බුද්ධිමත්ව සිතීමේ හැකියාව දියුනු කරගැනීමටද මෙය උදවු වේ. තමා අවට ඇති දේ පාලනය කිරීමට සිතීමටත් පෙර තමාගේම සිත පාලනය කර ගැනීම අවශ්‍ය වේ.

භාවනා කිරීමට නිස්කලංක හුදකලා ස්ථානයක් තෝරාගන්න හැකිතරම් කෘතීම ශබ්ද වලින් තොර ස්ථානයක් සහ වේලාවක් තෝරා ගන්න. ස්වාභාවික ශබ්ද වන කුරුල්ලන්ගේ ශබ්ද, ජලය ගලා යන, සුලඟට අතු සෙලවෙන ශබ්ද කිසිවිටෙක ඔබට බාධාවක් නොවනු ඇත. ස්නානය කර පිරිසිදු වී අවශ්‍යනම් සැහැල්ලු ඇඳුමක් ද ඇඳගන්න. සැහැල්ලු ආහාරයක් ගෙන සිටීමද වැදගත් වේ. බර ආහාරයකින් කුස පිරී ඇති විට ශක්තිය බොහෝ වශයෙන් උදරයට ඇදගනී. එවිට හිසට අවශ්‍ය තරම් ශක්තියක් ලබා ගත නොහැකි වී විට නිදිමත ගතියක් ඇති විය හැක.

මුලින්ම, ඔබට ගත හැකි තරම් උපරිම හුස්මක් ඉහලට ඇද පුරවා ගන්න. ඉන් පසු ඉතා සෙමෙන් හුස්ම පිට කරන්න. පිට කරන හුස්ම සමඟ ශරීරයේ ඇති සියලුම වෙහෙස සහ ආතතිය සෙමෙන් පිට කරන්න. පිටවන හුස්ම පිලිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන්න. මෙය හැකි තරම් සෙමෙන් කරන්න. නමුත් ඉතා සෙමෙන් කිරීමට යාමෙන් සුලු වෙහෙසක් ඇති විය හැක. වෙහෙස ඇති වන්නේ පිටවන හුස්ම පිට වීමට නොදී තබා ගැනීමට යාමෙනි. හුස්ම නිදහසේ විට වෙන්නට හරින්න. වැදගත් වන්නේ එය තුල හැකි තරම් අවධානය රැඳවීමත් එය උපරිම අන්දමින් විඳගැනීමත් ය. දිගටම හුස්ම පිලිබඳ අවධානය රැඳවීම ඒ මත බැඳීමක් ඇති කර සිත හිස් කිරීමට බාධාවක් වීමට ඉඩ ඇත.

මීලඟට ඔබේ ශරීරය තුල අවධානය රඳවන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වාත් සම්පූර්ණ ශරීරයමත් අවධානයෙන් යුතුව විඳගන්න. දෙපතුලේ සිට හිස් මුදුන දක්වා ඉහලට ආලෝකයක් ගමන් කරන්නා සේ මනසින් දැකීම තවත් එක් ක්‍රමයකි.

මේ අවස්ථාවේදී ඔබේ ශරීරයේ සියලුම මාංශ පේශි හැකි තරම් ඉහිල් කරන්න. මනස පවතින්නේ මාංශමය ශරීරය තුලම නිසා ශරීරය ඉහිල් කිරීම මනස ඉහිල් කිරීමට පුහුණු වීමේදී ඉතා වැදගත් වේ. ඔබ සිටින ඉරියව්වෙන් සිටීමට අත්‍යාවශ්‍ය වන තරමට පමණක් පේශි වලට බලය සපයන්න. අනෙක් සියලුම පේශි ඉහිල් කරන්න. ඔබට පහසුම ඉරියව්වක් තෝරාගැනීම වැදගත් වන්නේ මේ නිසාය. සැතපෙන ඉරියව්ව හැර ඕනෑම ඉරියව්වක් සුදුසුයි. පාද වලට කිසියම් හෝ අපහසුවක් දැනේනම් පුටුවක වාඩි වී භාවනා කිරීම සුදුසුයි. පුටුවක් තෝරාගැනීමේදී හැකි තරම් ස්වාභාවික අමුද්‍රව්යයන්ගෙන් නිපදවූ ලෝහ කොටස් නොමැති පුටුවක් තෝරා ගන්න.

ඔබේ සිතේ ඇති සියලුම සිතිවිලි ඉවත් කරන්න. සිතට ඇතුලු වන කිසිම සංවේදනයක් බාරගැනීමෙන් වැලකී සිටීමට උත්සාහ ගන්න. සිත හිස් කිරීමෙන් ඇති වන විශාල හිස් ඉඩ (void) විඳගන්න. නමුත් ඒ තුල ඇති විඳගැනීම වචන වලට නැඟීම හෝ ඒ ගැන සිතීම සිත හිස් කිරීමට බාධා කරයි. "මෙය ඉතා පහසුයි" යැයි ඔබට සිතේ නම් එම සිතුවිල්ල ඇති වීමම ඔප්පු කරන්නේ සිත සම්පූර්ණයෙන් හිස් වී නොමැති බවයි.

සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීම ඉතා අපහසු සහ බොහෝ කාලයක් පුහුණු කල යුතු එහෙත් තත්පර කිහිපයකට වඩා පවත්වාගත නොහැකි මනසේ තත්වයකි. නමුත් ඒ සඳහා උත්සාහ ගෙන හැකි තරම් මනස හිස් කිරීමම්ම ජයග්‍රහනයක් ලෙස සලකන්න.

සිත සම්පූර්ණයෙන් හෝ බොහෝ වශයෙන් හිස් වූ විට ශුන්‍ය ගුරුත්වය තුල නිදහසේ පහලට වැටෙන ලෙස හෝ ඔන්චිල්ලාවක පහලට පැද්දෙන විට දැනෙන සංවේදනය ආකාරයේ සංවේදනයක් ඉතා කෙටි කාලයක් තුල දැනේ. සුරන්තයට (orgasm) පැමිනීමෙන් පසුව ඇති වන සංවේදනයද මීට බොහෝ සමානය.