Showing posts with label අධිමානසික. Show all posts
Showing posts with label අධිමානසික. Show all posts

4. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්‍රාන්ති සමඟ වර්ශයකට ප්‍රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි.

සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත. සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි.

විකා වල චන්ද්‍ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්‍රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්‍රිත්ව ස්වභාවයයි.

කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම් කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි.

පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්‍රියාවන් ගේ ප්‍රථිඵලය නැවත අප වෙතම පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත පැමිණිය හැක.

විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්‍ර වලින් යුතුය. මෙසේ කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු වීමට ප්‍රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්‍යයෙකු ලෙස මූලික අධ්‍යාපනය ලැබිය යුතුය.

වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි.

නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත් අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්‍රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්‍රම වලින් තනිවම අධ්‍යයනය කර තම මාර්ගය සලසා ගනී.

පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන් තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි. භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්‍රයෝජනද ලැබිය හැක.

තවද, භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය.

චිත්ත බලය 3 - චිත්ත රූප (Visualization)

අධිමානසික අභ්‍යාස වල තෙවන-පියවර ලෙස අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්ත-රූප ගොඩනැඟීමයි (Visualization). චිත්ත-රූප ගොඩනැඟීම අධි-මානසික අභ්‍යාස සඳහා බෙහෙවින් උපකාරී වන මෙවලමකි. මෙය මූලික මට්ටමේ ක්‍රියාකාරකම් තුනෙන් වඩාත්ම වැදගත් අධිමානසික ක්‍රියාකාරකම ලෙස හැඳින්විය හැක. මේ තුලින් නිර්මාණශීලීත්වයද දියුණු කර ගත හැක.

චිත්ත-රූප ගොඩනැඟීමේදී අප බලාපොරොත්තු වන්නේ මනැස මත රූපයක් ගොඩනඟා එය ඒකාකාරව පවත්වා ගැනීමයි. චිත්ත රූපයක් ගොඩනඟාගත් විට අපගේ මනසේ චිත්ත තරංග එම චිත්ත රූපයට අනුව සකස් වේ. එම චිත්ත තරඟ වලට තව දුරටත් ශක්තිය එකතු කර විශ්වයට මුදා හැරීමෙන් අප බලාපොරොත්තු වන දේ ලඟා කරගත හැක. අධි මානසික අභ්‍යාස වලදී අපි එම මට්ටමෙන් ඔබ්බට ගොස් චිත්ත රූප හරහා ශක්තිය පාලනය කිරීම වෙතද අවධානය යොමු කරමු. චිත්ත-රූප වලට පසුව වැදගත් වන ශක්තිය පාලනය කිරීම සඳහාද අපට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙම චිත්ත-රූපයි.

මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනැස (මනසේ ඇස - Mind's Eye) පිලිබඳවයි. අපගේ පංචේන්ද්‍රින් වන පෙනීම, ඇසීම, ආග්‍රහනය, ස්පර්ශය සහ රසය දැනීමට අමතරව සය වන ඉන්දියයක්ද පවතී (Sixth Sense). අප නිදාගත් විට පංචේන්දීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වී මනැස ක්‍රියාත්මක වේ, සිහින දකින්නේ එවිටයි. මෙම මනැසේ ක්‍රියාකාරී ස්වරූප (Operational Modes)දෙකක් පවතී. මේවා සංග්‍රාහක ක්‍රියාකාරීත්වය (Passive mode) සහ විමෝචක ක්‍රියාකාරීත්වය (Active mode) ලෙස හැඳින්විය හැක. සංග්‍රාහක ක්‍රියාකාරීත්වයේදී පුද්ගලයෙකුට අනාගතය දැකීම, දුර සිදු වන දේ දැකීම වැනි හැකියාවන් ලැබේ. විමෝචක ක්‍රියාකාරීත්වයේදී පුද්ගලයකුට යම් සිදුවීමක් පාලනය කිරීමේ හැකියාව ලැබේ. උදාහරන ඇසුරෙන් පැහැදිලි කලහොත් ඔබේ අතෙන් යමක් අතගා එහි හැඩය හඳුනාගත හැකිය. එමෙන්ම එම අතම භාවිතා කර යම් වස්තුවක (මැටි පිඩක) හැඩය වෙනස් කල හැක.

චිත්ත-රූප යන වචනය සමඟම අපට සිහි වන්නේ ඇසට පෙනෙන ආකාරයේ රූපයකි. නමුත් අපගේ මනැස දැකීම පමණක් නොව පංචේන්දියන්ටත් වඩා විස්තරාත්මකව තොරතුරු සැකසීමේ හැකියාව ඇති ඉන්ද්‍රියකි. දැකීම මෙන්ම සුවඳ, ස්පර්ශය ශබ්දය සහ රසයද මනැසට සකස් කල හැක. වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මනැසේ මෙම සියලුම ආකාරයන් ව්‍යායාමයට ලක් කල යුතුය. මනැස ව්‍යායාමයට ලක් කිරීමෙන් එහි හැකියාවන් වර්ධනය කල හැක. කායවර්ධන ශිල්පීන් ශාරීරික අභ්‍යාස තුලින් භෞතික ශරීරයේ මාංශ පේශීන් ආදිය වර්ධනය කරන්නා සේ ම මනැස වර්ධනය කිරීමෙන් අධි මානසික හැකියාවන් වර්ධනය කල හැක.

මීට පෙර අප මනස ඉහිල් කිරීම සහ ඒකාග්‍ර කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම් සාකච්ඡා කලෙමු එම අභ්‍යාස වල යම් නිපුණතාවයක් ඇතිනම් තෙවන අදියර ලෙස චිත්ත රූප ආශ්‍රිත ක්‍රියාකාරකම් ආරම්භ කල හැක. චිත්ත ඒකග්‍රතාවය සඳහා අප ඉටිපන්දම් දැල්ලක් හෝ යම් වස්තුවක් තුල අවධානය රැඳවූවා ඔබට මතක ඇති. දැන් අප අවධානය රැඳවීමට යන්නේ අපගේ මනැස තුල ගොඩනඟාගත් වස්තුවක් මතයි. මනැසේ නිපදවන වස්තුව මත තබන අවධානය වැඩි කරන තරමට එම වස්තුව වඩා විස්තරාත්මකව ගොඩනැඟේ. වඩා විස්තරාත්මකව ගොඩනැඟෙන චිත්ත-රූපයක් වඩාත් ප්‍රභල වේ.

මේ සඳහා ඔබට කැමති වස්තුවක් තෝරා ගත හැක. බොහෝ විස්තර සහිත හෙයින් අපි උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගනිමු. මේ ක්‍රියාකාරකම පුහුණු වීම සඳහා නිස්කලංක නිෂ්ශබ්ද ස්ථානයක් තෝරාගන්න. ඉන් පසුව ඇස් පියාගෙන ඔබේ අතේ දොඩම් ගෙඩියක් ඇතැයි සිතින් මවා ගන්න. ඉන් පසුව එහි හැඩය අතට දැනෙන ආකාරය, බර සහ මතුපිට ස්වාභාවයද සිතින් මවාගන්න. එහි වර්නය සහ දීප්තියද එකතු කර ගන්න. දොඩම් ගෙඩියේ එබෙන ස්වාභාවය සිහි කරගන්න. සම්පූර්න දොඩම් ගෙඩියක් හැකි තරම් විස්තර සහිතව චිත්ත රූපයක් ලෙස මනැසේ රඳවා ගන්න. ඉන් පසුව එහි පොත්ත ගලවන්න. පොත්ත ගලවන විට දැනෙන සුවඳ සිතින් මවා ගන්න. දැන් ඒ තුල ඇති රේණු ආදිය ද එම චිත්ත රූපය තුල දකින්න. ඔබ දොඩම් කෙරෙහි කැමැත්තක් දක්වන්නේ නම් මේ අවස්ථාවේදී කටට කෙල ඉනීම සාමාන්‍ය දෙයකි.

ඉහත උදාහරණය ස්වාභාවික වස්තුවක් පදනම් කරගත් ක්‍රියාකාරකමක් වුවත් බොහෝ විස්තර සහිත වස්තුවකි. නමුත් චිත්ත රූපය මත ඒකාකාරව අවධානය රැඳවීමේ අපහසු තාවයක් ඇතිනම් ඊට වඩා සරල උදාහරණයකින් පටන් ගත යුතුය. අවධානය රැඳවීමේ හැකියාවද දියුනු කල හැකි සරල ජ්‍යාමිතික හැඩ උපයෝගී කරගත් උදාහරණයක් ගෙන බලමු.

ඇස් පියාගෙන ඔබ ඉදිරිපස "හිස්" අවකාශයක් සිතින් මවාගන්න. ඉන් පසුව ඒ තුල තිරස් අතට සුදු රේඛාවක් සිතින් මවාගන්න. මෙම රේඛාව ඉතා පැහැදිලිව සහ සෘජුව මනසේ රඳවා ගන්න. දැන් එම රේඛාව අවකාශය තුල නොයෙක් අතට හරවන්න, දිග වෙනස් කරන්න. රේඛාවට පසුව රේඛා තුනකින් යුත් ත්‍රිකෝනයක් චතුරශ්‍රයක් ආදිය සිතින් මවාගෙන ද්විමානවද, ත්‍රිමානවද නොයෙක් අතට හරවන්න. මීලඟට ඝනකය, පිරමිඩය ආදී ත්‍රිමාන වස්තූන් ද චිත්ත රූප ලෙස මවාගෙන ව්‍යායාමයෙහි යෙදෙන්න. ත්‍රිමාන වස්තූන්ගේ රේඛාගනන, දාර ගනන සහ පැති ගනන ගනින්න. මේවා නැවත නැවත ගැනීමෙන් චිත්ත රූපය පැහැදිලිව මනසේ රැඳේ.

ඉතා සරල ලෙස පෙනුනද මෙම ක්‍රියාකාරකම හරහා මනැස ඉතා හොඳින් දියුනු කල හැක. චිත්ත රූපයක් ඇසින් දකින වස්තුවක් ලෙස දැකීමට බලාපොරොත්තු නොවන්න. එය ඇසට වඩා වෙනස්ම ඉන්ද්‍රියකි, වෙනස්ම සංවේදනයකි. දිගින් දිගටම ව්‍යායාම කිරීමෙන් වඩා පැහැදිලිව සහ ස්ථාවරව චිත්ත රූප ගොඩනැගීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබේ.

මනස පාලනය 2 චිත්ත ඒකාග්‍රතාවය (Concentration)

අධිමානසික-අභ්‍යාස වල දෙවන-පියවර ලෙස අප සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ සිත එක-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමයි. සිත එක්-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමෙන් (එදිනෙදා ජීවිතයේදී) අවබෝධ කරගැනීමේ හැකියාව සහ සිතුවිලි ගොඩනැඟීමේ හැකියාව වර්ධනයවේ. අධිමානසික-ක්‍රියාකාරකම් වලදීද මෙය ඉතාමත් ප්‍රයෝජනවත්වන මූලිකම දෙයකි.

තෙවන-ප්‍රවර්ගයේ ලිපිපෙල වන "Magick සහ චිත්ත-බලය (Psychic-powers)" අප වෙන්කරන්නේ අනුපිලිවෙලට සැකසූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහාය. මේවා අනුපිලිවෙලට පෙලගස්වා ඇත්තේ ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා ඊට පහල මට්ටමේ ක්‍රියාකාරකම් වල නිපුණතාවය අත්‍යාවශ්‍ය වන නිසාය. ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් කිරීමට අපහසුනම් නැවත මූලික ක්‍රියාකාරකම් වලට පැමිණ ඒවායේ නිපුණතාවය ලැබියයුතු වේ. කෙසේවුවද ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් ඉඟෙනීමේදීද නිරන්තරයෙන් මූලික අභ්‍යාස වල නිරත වී හැකියාව "පවත්වාගත යුතු" වේ.

Magick සහ අධිමානසික ක්‍රියාකාරකම් සඳහා ඉතාමත් වැදගත් වන්නේ චිත්ත රූප (Visualization) පවත්වා ගැනීම සහ ශක්තිය පාලනය (Energy manipulation) කිරීමයි. ශක්තිය පාලනය කිරීමටද චිත්ත රූප මහෝපකාරී වේ. චිත්ත රූප සඳහා මානසික ඒකාග්‍රතාවය උපරිම අන්දමින් අවශ්‍ය වේ. ඒකාග්‍රතාවය සඳහා මනස ඉහිල් කිරීම උදවු වේ.

මනස ඉහිල් කිරීම
(Relaxation)
->චිත්ත ඒකාග්‍රතාවය
(Concentration)
->චිත්ත රූප
(Visualization)
->ශක්තිය පාලනය
(Energy manipulation)

High Magick, Ceremonial, Ritual Magick, Elemental Magick, Chaos, Sigilization වැනි ඕනෑම ගුප්ත ශාස්ත්‍ර විශය ක්ෂේත්‍රයකට හෝ අවතීර්ණ වීමට මෙම දැනුම හා කුසලතා මූලික වේ.

චිත්ත ඒකාග්‍රතාවය සඳහා අප තෝරාගන්නේ අර්ථයක් රහිත, සරල සහ නිශ්ක්‍රීය අරමුණකි. පසුව චිත්ත රූප පිලිබඳ අභ්‍යාස වලදී මේ වෙනුවට (සංකීර්ණ) චිත්ත රූපයක් ආදේශ කල හැක.

මේ සඳහා මුලින්ම ඉහිල් කිරීමේ (Relaxation) අභ්‍යාස පුහුණු කර තිබිය යුතුය. ශරීරය සහ මනස හැකිතරම් ඉහිල් කිරීමෙන් පසුව මෙය ආරම්භ කල හැක. නමුත් සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීමට උත්සාහ ගැනීම අවශ්‍ය නොවේ. මුලින්ම භාවනා කිරීම සඳහා අරමුණක් (Object of concentration) තෝරා ගත යුතුය. මේ සඳහා ඉටිපන්දම් දැල්ලක්, බිත්තියක ඇඳි තිතක්, ජල බිඳුවක්, වර්ණ කඩදාසි වෘත්තයක් හෝ හුදෙක් සිතුවිල්ලක් හෝ ශබ්දයක් වුවද තෝරාගත හැක. වඩාත්ම වැදගත් වන්නේ ඔබ තෝරාගන්නා අරමුණ සමඟ ඔබට එක අරමුණක සිටීමට පහසු වීමයි.

බිත්තියක ඇඳි තිතක් අරමුණ ලෙස ගන්නේනම් තනි, ලා පැහැයක් ඇති පිරිසිදු සහ නිදහස් බිත්තියක (බොහෝ පින්තූර හෝ සැරසිලි එල්ලා නැති) ස්ථානයක් තෝරා ගන්න ඔබට පහසු ඉරියව්වක පුටුවක හෝ බිම ඉඳගත් විට ඇස් මට්ටමෙන් බිත්තියේ ගම්මිරිස් ඇටයක තරම් කලු තිතක් ඇඳගන්න. ඉන් පසු අතේ දුර මෙන් එකහමාරක් පමණ ඈතින් සිට, (මුලින් මනස ඉහිල් කර) ඒ දෙස හැකි පමණ වෙලා බලා සිටින්න. විනාඩි දහයකට පමණ වරක් ඇස් වලට විවේකයක් දීමටද අමතක නොකරන්න. තිත සෑම විටම දෘශ්ටි පථයේ මැද එකම ලක්ශ්‍යයක තබා ගැනීමට උත්සාහ ගන්න.

මද වේලාවකට පසු ඇස, දැකීමට වෙනත් අරමුණක් සොයනු අත් දැකිය හැකි වනු ඇත, තිත ඇසේ නාභියෙන් ඉවත් වීම හෝ සෙලවීම මෙහි ලක්ශණයකි. එය අවබෝධ වන්නේ තිත ඇසේ නාභියෙන් ඉවත් වී නැවත තිත වෙත නාභිගත වන විටය, නමුත් තිත ඇසේ නාභියෙන් ඉවත් වීමට උත්සාහ ගන්නා අවස්ථාවේදීම ඊට ප්‍රතිරෝධය දැක්විය යුතුය. ඇස ඉන් ඉවත් වී වෙනත් දෙයක් කෙරෙහි ඇලීමට ගැටිමට දක්වන සෑම උත්සාහයකටම ප්‍රතිරෝධය දක්වන්න.

මද වේලාවකට පසුව එක්වරම තිත අතුරුදහන් වී යාහැක, ඒ ගැන කලබල නොවන්න, මද විවේකයක් ගන්න. තිත ඉතා කුඩා වූවිට හෝ ඉන් බොහෝ ඈත් වී සිටි විට හෝ ආලෝකය ප්‍රමාණවත් නොවූ විටද මෙසේ තිත අතුරුදහන් වී යාම අත් දැකිය හැක. තිත අතුරුදහන් වන්නේ බොහෝ වේලාවක් තිත දෙසම පමණක් ඇස නාභිගත කරගෙන සිටීමට ඔබට හැකි වූ විටය.

ඉටිපන්දම් දැල්ලක්ද භාවනාව සඳහා අරමුණු කර ගත හැක. අඳුරු පරිසරයක තනි ඉටිපන්දමක් පමණක් දල්වාගෙන මෙය කිරීමෙන් ඇසට විඩාවක් ඇති විය හැකි නිසා ඉටිපන්දම් කිහිපයක් දල්වාගෙන එක් ඉටිපන්දමක දැල්ල දෙස බල සිටින්න. (නැතිනම් මද ආලෝකය ඇති විදුලි ආලෝකයක්ද යොදාගත හැක) ඉටිපන්දම් දැල්ලද ඇස් මට්ටමින් සහ අතේ දුරින් තබාගන්න. ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටීමේදී ඒ සමඟ ඒකාත්මික වීමට උත්සාහ ගන්න. එහි ඇති ආලෝකය සහ තාපය තුල සිත රඳවන්න. ඉටි පන්දමේ ඝන අවස්ථාවේ ඇති ඉටි ද්‍රව අවස්ථාවට පත් වී තිරය දිගේ ඉහලට පැමිණ වාතය සමඟ එකතු වී ගින්දර ඇති වේ, එවිට ආලෝකය සහ තාපය පිටවේ. අවසන් ප්‍රතිඵලය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලවාශ්පද පිට වේ. ඔබට මෙම ක්‍රියාවලිය තුලද සිත පිහිටුවිය හැක.

ඉටිපන්දම් දැල්ල වරින් වර සෙලවෙන නිසා ඇසට වෙනස් වන අරමුණක් ලැබේ. මෙය එක් අරමුණක සිටීම පහසු කරයි, නමුත් ඇසේ නාභිය පවත්වා ගැනීම මදක් අපහසු වේ. ඉටිපන්දම් දැල්ල දෙස බලා සිටින විට අවට ඇති වෙනත් දෑ ටිකින් ටික අඳුරු වී යන ලෙස දැනිය හැක. මෙය සාමාන්‍ය දෙයකි.

සිත එක් අරමුණක තැබීමෙන් එදිනෙදා ජීවිතයේ බොහෝ අරමුණු වලට හසුවී තිබෙන සිතට විශාල සැනසීමක් දැනේ. මේ ක්‍රියාකාරකම දිගටම කිරීමෙන් තමා තුල සාමකාමී වාතාවරනයක් ගොඩනැඟේ.