Showing posts with label Witchcraft. Show all posts
Showing posts with label Witchcraft. Show all posts

1. විකා (Wicca) සහ Witchcraft

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්‍ර සහ Witchcraft සම්බන්ධ අධ්‍යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි.

විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්‍යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය.

Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්‍රමවේදය හැඳින්වීමටයි.

විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්‍යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්‍රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්‍යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්‍රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්‍රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි.

මෙය බහු දේව වාදී ආගමකි. ප්‍රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්‍රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්‍රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ.

විකා අධ්‍යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්‍රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය.

Witchcraft ක්‍රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්‍රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්‍රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි.

2. විකා වල ඉතිහාසය

විකා දර්ශනය ප්‍රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්‍රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි.

බ්‍රිතාන්‍යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්‍යාත්මික සහ ගුප්ත-ශාස්ත්‍ර විශයයන් සම්බන්ධ ප්‍රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්‍යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්‍රසිද්ධියේ විවෘත විය.

මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්‍රාම ලබා නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්‍රමවේදඅධ්‍යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්‍රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්‍යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්‍රතිසංස්කරනය කලේය.

විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි.

1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්‍රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත.

තවද රේවන් ග්‍රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්‍රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්‍රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්‍රදාය අතර සමහර වෙනස්කම්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්‍යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්‍ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්‍රනය කරන ලදී.

සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්‍රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්‍රම අධ්‍යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි .

ඉන්දියාව:

ඉප්සිතා රෝයි චක්‍රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්‍රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්‍රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි.

3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්‍ර සහ Witchcraft සම්බන්ධ අධ්‍යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්‍යායාම ක්‍රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්‍ර අධ්‍යයනයට හිමි වන්නේ දෙවන තැනයි.

මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්‍රදාය (Tradition) යන වචනයයි.

විකා වල සංකේතය වන්නේ මෙම Pentacle, එනම් වෘත්තයක් තුල ඇති පස් කොන් තරුව යි. මෙය ඉතා ඈත ඉතිහාසයක් ඇති සංකේතයකි. ප්‍රධාන වශයෙන්ම මෙයින් සංකේතවත් වන්නේ පංච මහා භූතයින් ය. එනම් අප අවට ඇති පරිසරය, ලෝකය තැනී ඇති ප්‍රධාන මූල ධාතූන් ය. තවද මෙය පුරානයේ සිට පැවත එන ආරක්ෂාව සම්බන්ධ ශුද්ධ වූ හැඩතලයකි. මෙහි පිටතට යොමූ වූ උල් ත්‍රිකෝන පහෙන් භාහිර බලවේග වලින් ආරක්ෂා වීමත්, මැද ඇති පංචාස්‍රයෙන් ගර්භාශයත්, වට කර ඇති වෘත්තයෙන් සමතුලිතතාවයත් සංකේතවත් වේ.

විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්‍රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්‍රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්‍රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්‍රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත.

ස්වභාව ධර්මයේ පවතින ජීව ශක්ති ස්වභාවයේ ස්ත්‍රී හා පුරුශ පැතිකඩ දෙකක් ඇත. මේ ස්වභාවයන් දෙක විකා වල දේවත්වයෙන් සලකයි. මෙය දේවතාවා සහ දේවතාවිය ලෙස අදහන අතර ප්‍රධාන වශයෙන් ස්ත්‍රී හා පුරුශ ලිංගිකත්වය අදහස් වේ. දේවතාවිය සහ දේවතාවා දෙපසක සිට සොබාදහම (හෝ ස්වභාවය) සමතුලිත කරන ලෙස සැලකේ. එමෙන්ම වර්ශයේ වඩා සීත සෘතු වලට (පුරුශ)දෙවියා අධිපති බවත් උණුසුම් වූ සෘතු වලට දේවතාවිය අධිපති ලෙසත් ඇදහීමක් ඇත.

5. Wicca -> Witchcraft සහ Magick

විකා වල Witchcraft ගැන කියන විට විෂේශයෙන් මතක් කල යුතු පුද්ගලයෙකි ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley). ගාර්ඩ්නර් ගේ සමීප මිත්‍රයෙක් වන මොහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ විෂේශඥයෙකි. ක්‍රව්ලි ගේ මූලික විශය පථය වූයේ දර්ශනය සහ සාහිත්‍යයයයි. ඒ කේම්බ්‍රිජ් විද්‍යාලයේදීය. නමුත් 1896 කාලයේ සිදුවූ යම් සිදුවීමක් හේතුකොටගෙන ඔහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ අධ්‍යයනය කරන්නට පටන්ගත්තේය. විකා වල ඇති Witchcraft සහ Magick සම්බන්ධ බොහෝ තාක්ශනික කරුණු එකතු කරන ලද්දේ මොහු විසිනි.

Magick (k සමඟ) යන වචනය (සාමාන්‍ය Magic වලින් වෙන් කර හැඳින්වීම සඳහා) හඳුන්වා දුන්නේද ක්‍රව්ලි විසිනි. ඇලියෙස්ට ක්‍රව්ලි විසින් හඳුන්වා දුන් Magick යනු චිත්ත බලයෙන් යතාර්ථය වෙනස් කිරීමේ ශිල්පයයි. මෙය ගුප්ත ශාස්ත්‍ර වලට අයත් විශයයකි.
Magick, "සාම්ප්‍රදායික Witchcraft" සමඟ කිසිදු සම්බන්ධයක් නැති අතර විකා වලද මෙයට හිමි වන්නේ දෙවන තැනයි. විකා මෙන්ම "සාම්ප්‍රදායික Witchcraft" ද ආගමික ඇදහීමකි.

එමෙන්ම Magick යනු කිසි විටෙකත් ආශ්චර්යයන් සිදු කල හැකි ක්‍රමයක් නොවේ. එමගින් සූර්යග්‍රහණයක් වැනි දෙයක් සිදු කල නොහැක. භෞතික විද්‍යා නියම වෙනස් කල හැකි දෙයක් මේ තුලින් කල නොහැක. විශ්වයේ පවතින නීති තුල සිට, සිදු කල හැකි සියුම් වෙනස් කිරීම් මගින්, සිද්ධියක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කිරීම වැනි දේ කල හැක.
අප අවට පරිසරයේ ඇති සියලුම වස්තූන් සහ ඒවාට සම්බන්ධ සිද්ධීන් හේතු ප්‍රත්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධව පවතී. එම නිසා ඕනෑම සිදු වීමක් තවත් සිදු වීමකට යම් කිසි ආකාරයකින් බලපෑමක් සිදු කරයි. මෙසේ සියල්ලක්ම අන් සියල්ලකටම සම්බන්ධ වී ඇති නිසා සෑම සිදු වීමක් ම අනන්ත වශයෙන් සංකීර්න වූ සම්භාවිතාවයක් සහිත වේ. මෙය Chaos ලෙස හැඳින්වෙන අතර මේ සම්බන්ධ දේ Chaos Magick වලට අයත් වේ.

Magick යනු අධිශ්ඨාන බලයෙන් පාලනය වූ ස්වාභාවික සිදු වීමකි. ක්‍රව්ලිගේම වචන වලින් කිවහොත් මිනිසෙක් සොටු සීරීම පවා Magickal ක්‍රියාවලියකට උදාහරනයකි :)

මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ හැඟීම්, අධිශ්ඨාන ශක්තිය සහ අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය එකට එකතු කිරීමය. ඒ සඳහා භාවනා ක්‍රම වලින් සිත දියුනු කල යුතුය. එමෙන්ම වචන සහ ශබ්ද වල ශක්තිය, ජ්‍යාමිතික හැඩතල, ඇඳීම් ද උදව් කර ගත හැක.

Magick යනු අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය සහ ස්වාභාවික ශක්තීන් චලනය කිරීම මගින් අප අවට පරිසරයේ ඇති වස්තූන් සහ සිදුවීම් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමය. මෙය අස්වාභාවික හෝ අමුතු දෙයක් නොව ඉතා ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මනස සහ අධිශ්ඨානයයි.
මෙහි මූලිකවම අවධානය යොමු කල යුතු අංගයන් වන්නේ...
* සැහැල්ලු වීම
* චිත්ත ඒකාග්‍රතාව
* මනසින් දැකීම
මේ සම්බන්ධ වැඩිදුර විස්තර ඉදිරියේදී සාකච්චා වේ.