මෙය "මායාකාරීන්ගේ-දේවවාක්‍ය" පොතට මූලික වශයෙන් අයිති නැති වුවද මැඩලේනා විසින් දීර්ඝ අත්පිටපතක් ලෙස ලද නිසා ලේලන්ඩ් විසින් Aradia පොතට ඇතුලත් කර තිබේ. මෙහි අඩංගු වන්නේ මධ්‍යකාලීන-යුගයේ අවසාන භාගයේ ඉතාලියේ සිදුවූ සත්‍ය සිදුවීම මාලවක් ඇසුරෙන් ගොඩනැගුනු කථාවකි.
එක්තරාපුද්ගලයෙක් WitchHunter නමින් ප්‍රතිචාර කිහිපයක් ලියා ඇතිබව දුටුවෙමි. ඒවා බොහෝමයකට පිලිතුරු මේ තුල අඩංගු වනු ඇත.
ඉතාලියේ කඳුකර පෙදෙසක වොල්ටෙරා නමින් ඉතා රමණීය නගරයක් වෙයි. ඒ නගර සීමාසන්නයේ කන්දක් පාමුල කුඩා නිවසක් වෙයි. මේ නිවස අදටත් හඳුන්වන්නේ "කුණාටු ගෙදර" යන නමිනි. ඒ අසලම කලකට පෙර කුඩා මාලිගාවක් බඳු වූ මැදුරක් විය. ඒ නිවසේ විසූ යුවලට සිටියේ එකම දරුවෙකි, ඈ දැරියකි. ඇයට ඔවුන් බොහෝ ආදරය කලෝය. නමුත් ඇයට ඉතා දරුණු හිසේ රුදාවක් වැලඳෙමින් තිබූ නිසා ඔවුන්ට මහත් ගැටලුවක් විය.
දිනෙන් දින ඈ උස් මහත් වී වැඩෙන්නට විය, මේ අතර ඇගේ සුළුමවගේ දේව භක්තියද දිනෙන් දින වැඩෙන්නට විය. ඇගේ සුළුමවගේ වුවමනාව වූයේ කෙදිනක හෝ තම දුව මහණ කරවීමටය. මෙයට කොහෙත්ම කැමති නුවූ කුමරිය කියා සිටියේ ඇයට අවශ්‍ය අන් කුමරියන් සේ විවාහ වීමට බවයි.
දිනෙක ඈ කවුලුවෙන් පිටත බලා සිටින අතර තුරු ලිය ගොමුවක කුරුල්ලන් සෙල්ලම් කරනු දිටීය, ඒ දැක තම සුළුමවට කියා සිටියේ කෙදිනක හෝ ඇගේම දරු දැරියන්ට මැදිව සතුටින් ගයමින් සිටීමට ප්‍රිය කරන බවයි. මේ අසා ඇගේ සුළුමවට බොහෝ කෝප ඇති විය; ඉන්පසු ඇගේ දෑත් බැඳ තැබීය. බොහෝ සේ හැඩූ ඇය කියා සිටියේ කෙදිනක හෝ පලා යන බවත් තම සුළුමවගේ අදහසට කොහෙත්ම ඉඩ නොදෙන බවත් ය. කුඩා කල පටන් හිතුවක්කාර ගති තිබූ දැරියගේ මේ කථාවෙන් සුළුමවට බියක් ද ඇති විය. ඇයට තිබූ අනෙක් බිය නම් තම දැරියට දැනටමත් පෙම්වතෙක් ඇති ද යන්නයි; එසේ වූයේනම් බොහෝ කලහ ඇති විය හැක.
සුළුමවගේ මීලඟ උපාය වූයේ දියණිය ට කුලවත් ගුරුවරියකගේ ඇසුර ලබා දී සිත වෙනස් කරවීමටයි. ඉතා වියපත් වූත් බුද්ධිමත් බව නිසා ප්‍රසිද්ධ වූත් අසල්වැසි කාන්තාව ගැන අගේ මවට මතක් විය, ඇගේ දියණියගේ හදවත භක්තියෙන් පිරවීමටත් තමාගේ කීමට නම්මවාගැනීමටත් සුදුසුම වන්නේ තමාගේ අසල්වැසි නිවැසි වියපත් කාන්තාවම බව ඇය සිතුවය. එම වියපත් කාන්තාව කැඳවූ ඇය, බොහෝ මුදල් ද දී තම දැරිය දිවා රෑ බලා ගැනීමට එම පාලිකාවට පැවරීය. විරෝධය පා කලහ කිරීම වෙනුවට දැරියද පාලිකාව සමඟ මිතුරු විය.
කෙසේ වුවද ලෝකයේ ඒ ඒ දේ අප කැමති ලෙසම සිදු නොවේ, ගංඟාවක වැලි ගල් අතර මොන ආකාරයේ මත්ස්‍යයින් සැඟව සිටිත්දැයි කවුරු දනිත් ද? ඒ ආකාරයටම මේ ගුරුවරියද, දැරියගේ සුළුමව සිතා සිටි ආකාරයේ භක්තියකින්, ඇදහීමකින් යුත් තැනැත්තියක් නුවූවාය. ඈ කිසි විටෙක දැරියගේ සුළුමවට අවැසි ආකාරයේ බලපෑමක් නොකලාය.
සඳ ඇති දින වල සඳලුතලයේ වැතිරී රෑ කොබෙයියන් ගේ හඩට සවන් දීම මේ දැරිය පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිටි එක් දිනක ඇගේ පාලිකාව මහා සඳලුතලයේ සිටිනු විවෘත කර තුබූ දොරෙන් ඇයට ඇසින. මීලඟ දිනයේත් ඒ හඩ ඇසුන හෙයින් ඈ ඉතා සෙමෙන් සහ නිශ්ශබ්දව විවෘත කර තුබූ දොරෙන් මහ සඳලුතලයට පිවිසියාය. එතැනදී ඇය දුටුවේ ඇගේ පාලිකාව සඳ එලිය වැටී තුබූ තැනෙක දණ නමා යමක් මුමුනමින් සිටින බවයි. ඒ කිසිවක් ඇයගේ අවබෝධයට හසු නුවූයෙන් ඇගේ කුකුස තව තවත් වැඩි විය. මේ සියල්ලෙන්ම මදක් පමණ බියට පත්ව සිටි ඇය දුටු සියල්ලම තම පාලිකාවට පවසා සිටියාය.
ඉදින් දැරියගේ පෙරැත්තය නිසාම ඈ බන්ධනය කර රහස්‍ය භාවය පිලිබඳ දිව්රුමක් ද ගෙන මෙසේ කියා දුන්නාය. "මමද පෙර නුඹ මෙන්ම පූජකයන් විසින් උඟන්වනු ලදුව නොපෙනෙන දෙවි කෙනෙක් උදෙසා වන්දනා කලෙමි. නමුදු පසුව මට හමුවූ ඉතා හිතෛශී, විශ්වාසවන්ත මහලු ස්ත්‍රියක් කෙරෙන් මේ ඉඟෙනුමට ලැබුනි, 'මහත් වූ ශ්‍රීයෙන් ද යුක්තව පායා සිටින චන්ද්‍රයා පෙනෙන්නට සිටිද්දී, නොපෙනෙනාවූ දෙවි කෙනෙකු වන්දනා කරන්නේ කිමද. චන්ද්‍රාධිපති ඩයානා දේවතාවිය කැඳවන්න, ඈ ඔබගේ කැමැත්තද, ඉල්ලීමද ඉටු කරනු ඇත.'"
තරුණ දැරියද මීට බොහෝ සේ කැමතිව චන්ද්‍ර දේවතාවිය වූ ඩයානා වන්දනාවට හැරවුනාය. ඉදින් ඇගේ මුලු හදවතින්ම තරුණයෙකුගේ ආලය පතා යැද නොබෝ කලකින්ම ධනවත් නිර්භීත කුමාරයෙකුගේ අවධානයද කැමැත්තද දිනාගත්තාය. ඇගේ සුළුමව මේ බව දැන ඇගේ අභිප්‍රාය ඉටුකිරීමට බාධාවක් හෙයින් බොහෝ සේ කෝප වූවාය. ඉදින් මේ තරුණයා ඇගේ නිවසට පැමිණ තරුණිය විවාහ කර ගැනීමේ තම අදහස ප්‍රකාශ කල විට ඇගේ සුළුමව ඔහුව එලවා දැමීය, තවද, තම දුව මහණ වීමට පොරොන්දු දී ඇති බවත් ඇය එසේ නොකලහොත් මරණයට පත් වනු ඇති බවද කියා සිටියාය.
ඉන්පසු සුළුමව විසින් මේ දැරිය එක් ටැම් කුළුනක සිර කර තබනු ලැබීය, ඇගේ පාලිකාව වූ මහලු ස්ත්‍රියට පවා ඈ දැකුමට ඉඩ නොදුන්නාය. සුළුමවගේ කැමැත්තට එකඟ වන තුරු කටුක වූත් ශීත වූත් ගල් පොලොවේ නිදීමටත් දිවි රැකුමට පමණක් වූ සුලු ආහාරයකුත් දෙනු ලැබීය. ඒ දුක් ඉවසනු නොහැකිව, ඈ නිදහස් කරනු පිණිස ඩයානා යැද සිටියාය. හෝ, එවිටම ඇගේ සිර කුටියේ අගුලු හැරිණි, ඈ පහසුවෙන්ම ගැලවී ගියාය. ඒ අසලම දමා ගොස් තිබූ වන්දනා කරුවෙකුගේ කබායක් හැඳගත් ඇය ඉතා ඈත පෙදෙස් බලා ගියාය.
ඈ ගිය ගමනේ හමුවූ පීඩා කරනු ලැබූ හා දුකට පත් වූ බොහෝ දෙනාට පුරාණ ඇදහීම වූ චන්ද්‍රයාගේත්, සුරදූතියන්ගේත් රැජින වූ ඩයානා ගැන කියා දුන්නාය. ඇගේ නුවණත් රූ සපුවත් ගැන දේශය පුරා පතල විය, බොහෝ ජනයා ඇයට ගෞරව කලහ, "යහපත් වන්දනාකාරිය" යන නමින් ඈ හැඳින්වින.
අවසානයේ ඈ පිළිබඳ පුවත ඇගේ සුළුමවගේ කණටද පැමිණියේය. මේ පුවත ඇයට පෙර නුවූ තරම් වූ කෝපාග්නියක් ගෙනාවේය. කෙසේ හෝ උත්සාහ ගෙන ඇය තම සුළුදියණිය අත්අඩංගුවට ගෙන සිර කර තැබිය. අවසාන වතාවටද ඇගේ සුළුමව ඇගෙන් මහණ වීමට කැමතිදයි ඉතා රෞද ලෙස අසා සිටියාය. ඈ එයට එකහෙලා විරුද්ධ විය.
ඒ අසා තම සුළුදියණිය කෙරෙහි තිබූ සියලු හැඟීම් අත් හැර, ඈ වධ දී මරා දමනු පිණිස පූජකයින්ට බාර කලාය. ඒ කාලයේ පූජකයින්ගේ අදහස් වලට එකඟ නුවූ හා ඔවුන්ගේ ඇදහීමෙන් ඉවත් වූ සියලු දෙනාටම අත් වූයේ එම ඉරණමමය. නමුත් මෙ අසා බොහෝ ජනයා දුක් වූහ, මක්නිසාදයත් ඔවුන් ඈගේ රූ සපුවත් යහපත් භාවයත් කෙරෙහි ඉතා ලැදි වූවෝහුය.
කෙසේ හෝ ඇයගේ ප්‍රේමවන්තයාගේ උදව්වෙන් ඔවුන් අන්තිම කැමැත්ත වශයෙන් ඇයට මරණ දණ්ඩනයට පෙර දින රාත්‍රියේ රකවලුන් මැද තම මන්දිරයේ උද්‍යානයේ ඇවිදීමට අවසර ලබා ගත්තෝය. එම පුර සඳ පායා තුබූ රාත්‍රියේ ඈ උද්‍යානය මැද සඳ එලියේ දණ නමා තම ජීවිතය ගලවන්නැයි ඩයානා දේවතාවිය යැද සිටියාය. මේ අතර ඇගේ සුළුමවද පූජක වරුද මන්දිරය තුල සිට ඈ ගැලවී පැනයාවීදෝ යි බලා සිටියහ.
හෝ, එවිටම හදිසියේ මින් පෙර මනුශ්‍යයින් නොදුටු තරමේ දැඩි කුණාටුවක් හටගත්තේය. එම සුලඟට මුලුමහත් මන්දිරයත් ඒ තුල සිටි සෙනඟ සමඟම ගසාගෙන ගියේ ය. ගලක් පිට තව ගලක් නොසිටින සේම, එහි සිටි කිසිවෙකුගේ ජීවිතයක් ඉතිරි නොවන සේම විනාශ වී ගියේය, ඈ සහ ඇගේ ප්‍රේමවන්තයා පමණක් ඉතිරි විය. ඔවුන් විවාහ වී බොහෝ කාලයක් සතුටින් ජීවත් වූහ.
No comments:
Post a Comment