චිත්ත බලය 3 - චිත්ත රූප (Visualization)

පසුගිය කාලයේ ඉතා වැඩ අධික වූ හෙයින් මෙම ලිපි පෙල ඔබ වෙත ගෙන ඒම දිගින් දිගටම කල් දැමීමට සිදු වුනා. ඉතින් දැන් අප නැවැත්වූ තැනින් නැවත පටන් ගමු...

අධිමානසික අභ්‍යාස වල තෙවන-පියවර ලෙස අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ චිත්ත-රූප ගොඩනැඟීමයි (Visualization). චිත්ත-රූප ගොඩනැඟීම අධි-මානසික අභ්‍යාස සඳහා බෙහෙවින් උපකාරී වන මෙවලමකි. මෙය මූලික මට්ටමේ ක්‍රියාකාරකම් තුනෙන් වඩාත්ම වැදගත් අධිමානසික ක්‍රියාකාරකම ලෙස හැඳින්විය හැක. මේ තුලින් නිර්මාණශීලීත්වයද දියුණු කර ගත හැක.

චිත්ත-රූප ගොඩනැඟීමේදී අප බලාපොරොත්තු වන්නේ මනැස මත රූපයක් ගොඩනඟා එය ඒකාකාරව පවත්වා ගැනීමයි. චිත්ත රූපයක් ගොඩනඟාගත් විට අපගේ මනසේ චිත්ත තරංග එම චිත්ත රූපයට අනුව සකස් වේ. එම චිත්ත තරඟ වලට තව දුරටත් ශක්තිය එකතු කර විශ්වයට මුදා හැරීමෙන් අප බලාපොරොත්තු වන දේ ලඟා කරගත හැක. අධි මානසික අභ්‍යාස වලදී අපි එම මට්ටමෙන් ඔබ්බට ගොස් චිත්ත රූප හරහා ශක්තිය පාලනය කිරීම වෙතද අවධානය යොමු කරමු. චිත්ත-රූප වලට පසුව වැදගත් වන ශක්තිය පාලනය කිරීම සඳහාද අපට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙම චිත්ත-රූපයි.

මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනැස (මනසේ ඇස - Mind's Eye) පිලිබඳවයි. අපගේ පංචේන්ද්‍රින් වන පෙනීම, ඇසීම, ආග්‍රහනය, ස්පර්ශය සහ රසය දැනීමට අමතරව සය වන ඉන්දියයක්ද පවතී (Sixth Sense). අප නිදාගත් විට පංචේන්දීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වී මනැස ක්‍රියාත්මක වේ, සිහින දකින්නේ එවිටයි. මෙම මනැසේ ක්‍රියාකාරී ස්වරූප (Operational Modes)දෙකක් පවතී. මේවා සංග්‍රාහක ක්‍රියාකාරීත්වය (Passive mode) සහ විමෝචක ක්‍රියාකාරීත්වය (Active mode) ලෙස හැඳින්විය හැක. සංග්‍රාහක ක්‍රියාකාරීත්වයේදී පුද්ගලයෙකුට අනාගතය දැකීම, දුර සිදු වන දේ දැකීම වැනි හැකියාවන් ලැබේ. විමෝචක ක්‍රියාකාරීත්වයේදී පුද්ගලයකුට යම් සිදුවීමක් පාලනය කිරීමේ හැකියාව ලැබේ. උදාහරන ඇසුරෙන් පැහැදිලි කලහොත් ඔබේ අතෙන් යමක් අතගා එහි හැඩය හඳුනාගත හැකිය. එමෙන්ම එම අතම භාවිතා කර යම් වස්තුවක (මැටි පිඩක) හැඩය වෙනස් කල හැක.

චිත්ත-රූප යන වචනය සමඟම අපට සිහි වන්නේ ඇසට පෙනෙන ආකාරයේ රූපයකි. නමුත් අපගේ මනැස දැකීම පමණක් නොව පංචේන්දියන්ටත් වඩා විස්තරාත්මකව තොරතුරු සැකසීමේ හැකියාව ඇති ඉන්ද්‍රියකි. දැකීම මෙන්ම සුවඳ, ස්පර්ශය ශබ්දය සහ රසයද මනැසට සකස් කල හැක. වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මනැසේ මෙම සියලුම ආකාරයන් ව්‍යායාමයට ලක් කල යුතුය. මනැස ව්‍යායාමයට ලක් කිරීමෙන් එහි හැකියාවන් වර්ධනය කල හැක. කායවර්ධන ශිල්පීන් ශාරීරික අභ්‍යාස තුලින් භෞතික ශරීරයේ මාංශ පේශීන් ආදිය වර්ධනය කරන්නා සේ ම මනැස වර්ධනය කිරීමෙන් අධි මානසික හැකියාවන් වර්ධනය කල හැක.

මීට පෙර අප මනස ඉහිල් කිරීම සහ ඒකාග්‍ර කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම් සාකච්ඡා කලෙමු එම අභ්‍යාස වල යම් නිපුණතාවයක් ඇතිනම් තෙවන අදියර ලෙස චිත්ත රූප ආශ්‍රිත ක්‍රියාකාරකම් ආරම්භ කල හැක. චිත්ත ඒකග්‍රතාවය සඳහා අප ඉටිපන්දම් දැල්ලක් හෝ යම් වස්තුවක් තුල අවධානය රැඳවූවා ඔබට මතක ඇති. දැන් අප අවධානය රැඳවීමට යන්නේ අපගේ මනැස තුල ගොඩනඟාගත් වස්තුවක් මතයි. මනැසේ නිපදවන වස්තුව මත තබන අවධානය වැඩි කරන තරමට එම වස්තුව වඩා විස්තරාත්මකව ගොඩනැඟේ. වඩා විස්තරාත්මකව ගොඩනැඟෙන චිත්ත-රූපයක් වඩාත් ප්‍රභල වේ.

මේ සඳහා ඔබට කැමති වස්තුවක් තෝරා ගත හැක. බොහෝ විස්තර සහිත හෙයින් අපි උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගනිමු. මේ ක්‍රියාකාරකම පුහුණු වීම සඳහා නිස්කලංක නිෂ්ශබ්ද ස්ථානයක් තෝරාගන්න. ඉන් පසුව ඇස් පියාගෙන ඔබේ අතේ දොඩම් ගෙඩියක් ඇතැයි සිතින් මවා ගන්න. ඉන් පසුව එහි හැඩය අතට දැනෙන ආකාරය, බර සහ මතුපිට ස්වාභාවයද සිතින් මවාගන්න. එහි වර්නය සහ දීප්තියද එකතු කර ගන්න. දොඩම් ගෙඩියේ එබෙන ස්වාභාවය සිහි කරගන්න. සම්පූර්න දොඩම් ගෙඩියක් හැකි තරම් විස්තර සහිතව චිත්ත රූපයක් ලෙස මනැසේ රඳවා ගන්න. ඉන් පසුව එහි පොත්ත ගලවන්න. පොත්ත ගලවන විට දැනෙන සුවඳ සිතින් මවා ගන්න. දැන් ඒ තුල ඇති රේණු ආදිය ද එම චිත්ත රූපය තුල දකින්න. ඔබ දොඩම් කෙරෙහි කැමැත්තක් දක්වන්නේ නම් මේ අවස්ථාවේදී කටට කෙල ඉනීම සාමාන්‍ය දෙයකි.

ඉහත උදාහරණය ස්වාභාවික වස්තුවක් පදනම් කරගත් ක්‍රියාකාරකමක් වුවත් බොහෝ විස්තර සහිත වස්තුවකි. නමුත් චිත්ත රූපය මත ඒකාකාරව අවධානය රැඳවීමේ අපහසු තාවයක් ඇතිනම් ඊට වඩා සරල උදාහරණයකින් පටන් ගත යුතුය. අවධානය රැඳවීමේ හැකියාවද දියුනු කල හැකි සරල ජ්‍යාමිතික හැඩ උපයෝගී කරගත් උදාහරණයක් ගෙන බලමු.

ඇස් පියාගෙන ඔබ ඉදිරිපස "හිස්" අවකාශයක් සිතින් මවාගන්න. ඉන් පසුව ඒ තුල තිරස් අතට සුදු රේඛාවක් සිතින් මවාගන්න. මෙම රේඛාව ඉතා පැහැදිලිව සහ සෘජුව මනසේ රඳවා ගන්න. දැන් එම රේඛාව අවකාශය තුල නොයෙක් අතට හරවන්න, දිග වෙනස් කරන්න. රේඛාවට පසුව රේඛා තුනකින් යුත් ත්‍රිකෝනයක් චතුරශ්‍රයක් ආදිය සිතින් මවාගෙන ද්විමානවද, ත්‍රිමානවද නොයෙක් අතට හරවන්න. මීලඟට ඝනකය, පිරමිඩය ආදී ත්‍රිමාන වස්තූන් ද චිත්ත රූප ලෙස මවාගෙන ව්‍යායාමයෙහි යෙදෙන්න. ත්‍රිමාන වස්තූන්ගේ රේඛාගනන, දාර ගනන සහ පැති ගනන ගනින්න. මේවා නැවත නැවත ගැනීමෙන් චිත්ත රූපය පැහැදිලිව මනසේ රැඳේ.

ඉතා සරල ලෙස පෙනුනද මෙම ක්‍රියාකාරකම හරහා මනැස ඉතා හොඳින් දියුනු කල හැක. චිත්ත රූපයක් ඇසින් දකින වස්තුවක් ලෙස දැකීමට බලාපොරොත්තු නොවන්න. එය ඇසට වඩා වෙනස්ම ඉන්ද්‍රියකි, වෙනස්ම සංවේදනයකි. දිගින් දිගටම ව්‍යායාම කිරීමෙන් වඩා පැහැදිලිව සහ ස්ථාවරව චිත්ත රූප ගොඩනැගීමටත් පාලනය කිරීමටත් හැකියාව ලැබේ.

No comments: