Showing posts with label සංවර්ධනය. Show all posts
Showing posts with label සංවර්ධනය. Show all posts

Wiccan Rede, (විකා දහමේ මූලිකම ඉඟැන්වීම සහ ශික්‍ෂණය)

"විකා Rede" යනු කාව්‍ය 26 කින් යුත් සංහිතාවකි. මෙහි ආරම්භය ඉතා පැරණි බව භාවිතා කර ඇති භාෂා ශෛලිය තුලින්ද, අඩංගු කරුණු වලින්ද පෙනේ. මෙය මුලින්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් වූයේ 1975 දී Green Egg සඟරාවේයි. එය විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහෙන් පලමුවැන්නයි. වෙනත් බොහෝ ආගම් වල ඇති ආකාරයේ කල නොකල යුතු දේ පිලිබඳ දැඩි නීති මාලාවක් නැති විකා දහමේ ඒ වෙනුවට ඇත්තේ මෙම Wiccan Rede ය. එය රචනා කර ඇත්තේ උපදෙස් පෙලක් ලෙස මිස නීති මාලාවක් ලෙස නොවේ.

විකා Rede වල පළමු පෙල වන්නේ "Bide the Wiccan Laws you must, In Perfect Love & Perfect Trust". පුද්ගලයෙකු ගේ ශික්‍ෂණය පිලිබඳ බොහෝ කාරණා මේ තුල ගැබ්ව තිබේ. "In Perfect Love & Perfect Trust" යන්න ආධුනිකයෙකු විසින් දිය යුතු පලමු ප්‍රතිඥාවද වේ. මෙහි මතුපිටින් කරුණාව, දයාව සහ විශ්වාසවන්ත භාවය අදහස් වුවද ගැඹුරු අර්ථයක් ද ඇත.

In Perfect Love යන්නෙන් අදහස් වන්නේ සියලුම සත්වයින් සහ මනුශ්‍යයින් කෙරෙහි වූ කරුණාව සහ දයාවයි. ඒ අනුව තවත් ජීවිතයකට හානි කිරීමෙන් වැලකීමට උත්සාහ ගත යුතුය. "Live you must, And let to live" යන දෙවන පෙලෙන් ද විග්‍රහ කරන්නේ සියලුම ජීවිත වල පැවැත්මට ගෞරව කල යුතු බවයි. In Perfect Trust යන්නෙන් අදහස් වන්නේ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු වීමයි. සත්‍යවාදී වීමටත් පොරොන්දු රැකීමටත්, අනුන් රැවටීමෙන් වැලකීමටත් උත්සාහ ගත යුතුය.

දෙවන පෙලෙහි ඉතිරි කොටස වන්නේ "Fairly Take & Fairly Give" යන්නයි. මෙහි අදහස වන්නේ තමාට අයත් දේ පමණක් ගැනීමටත් ගන්නා දෙයට සරිලන දෙයක් නැවත ගෙවීමටත් වගබලාගතයුතු බවයි.

මීලඟට ඇති "Cast the Circle thrice about, To keep all evil spirits out." සහ "To bind the spell well every time, Let the spell be said in rhyme." ආදී පෙල වලින් අභිචාර විධි සඳහා වූ උපදෙස් කිහිපයක් දෙනු ලබයි. මේවා සම්බන්ධව වැඩිදුර විස්තර ඉදිරි ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමු.

චරිත සංවර්ධනය උදෙසා වූ උපදෙස් සහිත කරුණු මීලඟට හමු වන්නේ 20, 21 පෙල වලය."When ye have need, Hearken not to others greed." යන 20 වන පෙලෙන් දැක්වෙන්නේ අන් සතු දේ පිලිබඳ ඊර්ශ්‍යාව ඇති කර ගැනීමෙන් වැලකීමට උත්සාහ ගත යුතු බවය. අපට අවශ්‍ය දේ සහ අප ආශා කරන දේ අතර ඇති වෙනස හඳුනාගත යුතුය. එවිට අපට අවශ්‍ය දේ ලඟා කර ගැනීම පහසු වේ. තවත් පුද්ගලයෙකුට ඇති දෙයක් දුටු පමනින් එය තමාටද අයත් කර ගැනීමට තන්හාවක් ඇති කර ගැනීම දුකට හේතු වේ. අන්සතු දේ පැහැරගැනීමටද මෙම චේතනාව මුල් විය හැක.

21 වන පෙල වන්නේ "With the fool no season spend, Or be counted as his friend." බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් වැලකිය යුතු බව මෙයින් අදහස් වේ. බුද්ධිමත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පුද්ගලයෙකුට යහපතක්ම වේ. එවන් අය වරද පෙන්වා දෙයි, නිවැරදි දෙය කියා දෙයි. බුද්ධියෙන් හීන පුද්ගලයින් ඇසුරු කිරීමෙන් සිදු වන්නේ අයහපතක්මය.

මීලඟට අපි 25 වන පෙල විග්‍රහ කර බලමු, "True in love ever be, Unless thy lover’s false to thee." යන්න අදාල වන්නේ ප්‍රේමය සහ විවාහයේදී තිබිය යුතු අවංක භාවයයි. අනෙක් සත්වයින්ට වඩා මනුශ්‍යයා බුද්ධියෙන් උසස් වීමේ ප්‍රධානතම ලක්ශණයකි විවාහය. එහි මූලිකම අවශ්‍යතාවය වන්නේ තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය වෙනත් පුද්ගලයෙකු හා එක් වීමෙන් වැලැක්වීමට සම්මුතියක් ඇති කිරීමයි. ස්ත්‍රියක් හා පුරුශයෙකු අතර ඇති වන බැඳීමේ ප්‍රබලතාවය නිසා ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයෙකු හා එක් වුවහොත් සිත් වේදනාවක් ඇති වේ. එසේ වන්නේ වන්නේ අනෙක් පුද්ගලයාටය. මෙම සිත් වේදනාව ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම පොදු සහ සමාන වේ. මෙහි අනෙක් කොටස වන "Unless thy lover’s false to thee" යන්නෙහි දළ අදහස නම් විවාහයේදී අවංක විය යුත්තේ තමාගේ සහකරු හෝ සහකාරියද තමාට අවංක නම් බවය. නමුත් බුද්ධිමත්ව විමසා බැලීමේදි මෙහි ගැඹුරු අර්ථය නම් තමා සහකරු/කාරියට අවංක නොවුනහොත් ඔහු/ඇයද එසේ කිරීමට ඉඩ ඇති බවය. තවද, ගැහැනියට සහ පිරිමියාට විවාහය තුල එකිනෙකා කෙරෙහි සමාන අයිතියක් ඇති බව මෙයින් පැහැදිලි වේ; පුද්ගලයෙක් තම සහකරු/සහකාරියට අවංක නොවී ඔහු/ඇයට එසේ කිරීමට නීතියක් දැමීම අසාධාරණ වෙයි. විකා දහමට අනුව මෙසේ තම සහකරුට, සහකාරියට අවංක විය යුත්තේ හුදෙක් ඔහු/ඇය සිත් තැවුලට ලක් නොකල යුතු නිසා මිස ඉහල බලවේගයකට ඇති බියක් නිසා නොව.

විකා Rede වල අවසාන පෙල "Eight words ye Wiccan Rede fulfill, An’ it harm none, Do what ye will." යන්නයි. අප ඉහත විග්‍රහ කල ශික්ෂණය පිලිබඳ සියලුම කාරණා මෙමගින් ආවරණය වේ. එනම් කිසිවෙකුට හෝ කිසිවකට හානියක් නොවන යහපත් දෙයක් නම් තමාට කැමති ඕනෑම දෙයක් කල හැකි බවය. මෙමගින් පුද්ගලයෙකුට තමා කැමති දෙයක් කිරීමේ නිදහස ලබාදෙන අතර කුමනාකාරයේ හෝ හානිදායක ක්‍රියාවක් කිරීමෙන් වැලකිය යුතු බවට එම නිදහසට සීමාවක් පනවයි.

විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහ

විකා Rede (Wiccan Rede)
Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්‍ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත් කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්‍ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ. නීතිය ලෙස සඳහන් කලද මෙය කිසිවිටෙකත් නියම කිරීමක් ආකාරයෙන් අදහස් කර නැත. එහි ගැඹුරු අර්ථය වන්නේ කිසිවෙකුටත් හානිදායක නොවන (යහපතක් වන) ක්‍රියාවක් නම් බිය විය යුතු නැති බවත්, කිසිවෙකුට හෝ හානිදායක වන බව දන්නේනම් ඉන් වැලකීමට උත්සාහ ගත යුතු බවත් ය. තමා විසින් අන් අය කෙරෙහි වන බලපෑම සෑම විටම තමා කෙරෙහි සිදුවන බලපෑමක් සේ සිතා බලා එය තීරණය කල යුතුය.
කර්ම, ඵල විපාක දෙන බව
දෙවැන්න වන්නේ පුද්ගලයකු විසින් කරන ක්‍රියාවන් වල ප්‍රතිඵල නැවත ඔහු/ඇය වෙතටම පැමිණෙන බව (Law of Return) පිලිබඳ ඇති විශ්වාසයයි. මෙය හොඳ නරක ක්‍රියාවන් සියල්ලටම පොදු වේ. ඔබ විසින් අන් අයගේ යහපත උදෙසා කරන ක්‍රියාවන් සඳහා ඔබට ආපසු යහපතක් වන බවත්, අන් අයගේ අයහපත පතා කරන ක්‍රියාවන් සඳහා ආපසු අයහපතක් පැමිණෙන බවත් අවබෝධ කර ගත යුතුය. සමහර සම්ප්‍රදායන් වල මෙසේ නැවත ඵල දීම කිහිප ගුණයකින් ගුණාකාර වී ඵල දෙන බව ද උඟන්වයි.
ස්වයං වගකීම පිලිබඳ ඉඟැන්වීම
ඵල විපාක දීම පිලිබඳ අදහස තවදුරටත් විශ්ලේශනය කිරීමෙන් මෙය අවබෝධ කර ගත හැක. මෙයින් අදහස් වන්නේ පුද්ගලයකුට සිදු වන දේ පිලිබඳ වගකිවයුත්තා ඔහුම බවයි. විකා දහමෙහි මිනිස් ජීවිත පාලනය කරන ඉහල බලවේගයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප වේ. පුද්ගලයකුට අත් වන ඉරණම තීරණය වන්නේ ඔහු විසින් පෙර කරන ලද ක්‍රියාවන්ට අනුවය. මේ අනුව තමාගේ ජීවිතයේ ඉරණම භාහිර බලවේගයකට පවරා බලා සිටිය නොහැක. බාහිර බලවේග වල සහයෝගය සහ ශක්තිය ලබාගත්තද ඒවා නිවැරදිව භාවිතා කිරීමත් තම දියුණුව සහ තීරන ගැනීමත් තමා විසින්ම කල යුතුයි.
නිරන්තර සංවර්ධනය පිලිබඳ ඉඟැන්වීම
ස්වයං වගකීම සහ ඵල විපාක දීම යන ඉඟැන්වීම් දෙකට අනුව පුද්ගලයකු විසින් කල යුතු දේ ඇතුලත් වන්නේ නිරන්තර සංවර්ධනයටයි. පුද්ගලයකුගේ ඉරණම තීරණය වන්නේ ඔහු/ඇය විසින් ගන්නා තීරණ සහ කරන ක්‍රියාවන් අනුව නම් එම ඉරණම යහපත් කර ගැනීමද පුද්ගලයා සතු වගකීමකි. තමා විසින් කරන ක්‍රියාවන් හරහා යහපත් වෙනසක් ඇතිකිරීම උදෙසා වූ අරමුණ එක් කර ගත යුතුය. මෙය තමාගේ පෞද්ගලික දියුණුව පමණක් නොව භාහිර සමාජය සහ ස්වාභාවික පරිසරය කෙරෙහිද දිගු කල යුතු ආකල්පයකි. මනුශ්‍යයාට තමා අවට ඇති පරිසරය සහ සමාජය කෙරෙහි වගකීමක් ඇත. අන්‍ය මත ඉවසීම, යහපත් දේ අගය කිරීම, සාහිත්‍ය කලා රසවින්දනය සහ නිරන්තර ඉඟෙනීම ද මෙයට අයත් වේ.
ඒකාත්මික වීම පිලිබඳ ඉඟැන්වීම
අවසාන අංගය වන්නේ දේවත්වය සමඟ එකට සුසර වීමයි. බොහෝමයක් අභිචාර විධි වල මූලික අරමුණ වන්නේ ඒකාත්මික වීමයි. දේවත්වය යන්නෙන් කිසිවිටෙක මැවුම්කාර හෝ සර්වබලධාරී දෙවි කෙනෙක් අදහස් නොවේ. මෙහිදී දේවත්වය යන්න තුන් ආකාරයකින් විග්‍රහ කල හැක. පලමු වැන්න ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා (තමා) තුල ඇති දේවත්වයයි. තමා තුල ඇති දේවත්වය අවධි කිරීමට නොයෙකුත් අභිචාර විධි, භාවනා, නැටුම්, වාදන (බෙර) සහ වෙනත් ක්‍රම භාවිතා වේ.
දෙවැන්න ලෙස දැක්විය හැක්කේ දෙවියන්, සොබාදහම සහ ශක්තීන් තුල ඇති දේවත්වයයි. සොබාදහමේ ජීව ශක්ති ස්වාභාවයේ ස්ත්‍රී පුරුශ බලවේග, චන්ද්‍ර දේවතාවිය ආදීන් මෙයට අයත් වේ. සොබා දහමේ සෘතු සංවත්සර සැමරීම අයත් වන්නේ මේ සඳහාය.
තුන් වනුව මුලු මහත් විශ්වයම දේවත්වයෙන් සැලකීම දැක්විය හැක. තනි තනි ජීවීන් සහ ඒකක වශයෙන් විශ්වයේ ඇති කුඩා ඒකක වලට ප්‍රානයක්, ජීවයක් දේවත්වයක් ඇති නිසා ඒ සියල්ල එක්ව ගත් කල මුලු මහත් විශ්වයම ඒ සියල්ලේම එකතුව ලෙස දේවත්වයෙන් සලකයි. තනි පුද්ගලයා එහි කුඩා කොටසකි.