4. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්‍රාන්ති සමඟ වර්ශයකට ප්‍රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි.

සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත. සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි.

විකා වල චන්ද්‍ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්‍රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්‍රිත්ව ස්වභාවයයි.

කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම් කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි.

පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්‍රියාවන් ගේ ප්‍රථිඵලය නැවත අප වෙතම පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත පැමිණිය හැක.

විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්‍ර වලින් යුතුය. මෙසේ කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු වීමට ප්‍රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්‍යයෙකු ලෙස මූලික අධ්‍යාපනය ලැබිය යුතුය.

වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි.

නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත් අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්‍රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්‍රම වලින් තනිවම අධ්‍යයනය කර තම මාර්ගය සලසා ගනී.

පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන් තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි. භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්‍රයෝජනද ලැබිය හැක.

තවද, භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය.

No comments: